2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාවක් හදාරා, NVQ III සහතිකය ලබා ඇති හෝ, හෙද වෘත්තියේ මාස 11 ට නොඅඩු පළපුරුද්දක් ඇති, වයස අවුරුදු 25 – 45 අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයින්ට මෙම රැකියා සඳහා අයදුම් කළ හැකි බවයි එම කාර්යාංශය සඳහන් කළේ.
මෙම රැකියා සඳහා තෝරා ගනු ලබන රැකියාලාභීන්ට වසර පහක වලංගු වීසා කාලයක් හිමිවන අතර, මාසයකට රුපියල් ලක්ෂ 06 ට අධික වැටුපක් උපයා ගැනීමේ අවස්ථාව ද ලැබෙන බව සඳහන්.
ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම සාත්තු සේවා රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමි වන අතර, එම ගිවිසුම යටතේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 2,656 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමි ව ඇති බවත්, මෙම රැකියා ලබා ගැනීම සඳහා කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
