ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ‘නීපා’ (Nipah) වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
මෙම වෛරසයේ වත්මන් තත්ත්වය සහ රජයේ ස්ථාවරය පිළිබඳ සාරාංශගත වාර්තාවක් පහතින් දැක්වේ.
වෛරසයේ වත්මන් තත්ත්වය
නීපා වෛරසය ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව වැනි රටවල් දැනටමත් ගුවන් තොටුපොළ පරීක්ෂාවන් දැඩි කර ඇත. වවුලන් සහ ඌරන් මගින් බෝවන මෙම වෛරසය පිළිබඳ මූලික කරුණු කිහිපයක් මෙසේය:
- මරණ අනුපාතය: ආසාදනය වන පුද්ගලයන්ගෙන් 40% ත් 75%ත් අතර ඉහළ අගයක් ගනී.
- සම්ප්‍රේෂණය: පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුවද, එය සිදුවන්නේ ඉතා සීමිත මට්ටමකිනි.
- රෝග ලක්ෂණ: ආසාදිතයෙකු ඉතා දැඩි ලෙස රෝගාතුර වන බැවින්, එවැනි අයෙකුට ගුවන් මගින් සංචාරය කිරීමේ හැකියාව අවම වේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර තිබෙන බවයි.
“ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා.”
එසේම මෙරටට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
“අපි එහෙම පරීක්ෂණ කළ යුත්තේ වසංගත රෝගී තත්ත්වයක් තියෙන කොට, වෛරස් එකක් විදියට පුද්ගලයින් අතර පැතිර යා හැකි අවස්ථාවක. ඇත්තටම මේ වෛරස් එක තියෙන පුද්ගලයෙක් අධිකව රෝගී තත්ත්වයට පත්වෙනවා. එවැනි අයට ප්ලේන් එකෙන් එන්න තරම් හැකියාව අඩුයි. මෙය පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට පැතිර යා හැකි අවස්ථාව ඉතාම අඩුයි. ඒ නිසා මේකට කිසිසේත්ම බිය විය යුතු නෑ. අනවශ්‍ය විදියට මුදල් හෝ කාලය වියදම් කළ යුතු නෑ මේ වෙනුවෙන්.”
