Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයිනේ සියලුම ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

10 months ago

හදිසි ආපදා තත්ත්වයකදී දරුවන්ට සහය වීම සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුරුවරුන් විසින් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත.

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ ප්‍රතිපාදනවලට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, ගුරුවරුන් විසින් දරුවන් සම්බන්ධයෙන් කළ යුතු සහ නොකළ යුතු කරුණු පිළිබඳව පුළුල් අවධානයක් යොමු කර තිබේ.

අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව, ආපදා හේතුවෙන් පාසල් නිල ඇඳුම්, සපත්තු හෝ වෙනත් උපකරණ අහිමිව සිටින දරුවන් පාසල් පැමිණීමේදී ඔවුන් කෙරෙහි කිසිදු වෙනස්කොට සැලකීමක් නොකළ යුතු බව අවධාරණය කෙරේ. දරුවන්ට සහකම්පනයෙන් යුතුව සවන් දීම, පාසල තුළ ඔවුන්ට ආරක්ෂාව සහ රැකවරණය සහතික කිරීම මෙන්ම අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ඇති කිරීම ගුරුවරුන් සතු ප්‍රධාන වගකීමක් බව අධිකාරිය පෙන්වා දෙයි.

එමෙන්ම, දරුවන් මුහුණ දුන් කම්පන සහගත අත්දැකීම් නැවත ආවර්ජනය කරවීමෙන් වැළකී සිටිය යුතු බවත්, ආපදාවට පත් දරුවන් පිළිබඳව ගුරු විවේකාගාර හෝ වෙනත් පොදු ස්ථානවල සාකච්ඡා කිරීමෙන් වැළකී ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවත් එහි සඳහන් වේ. මීට අමතරව, දරුවන් සැනසීම වෙනුවෙන් ඉටු කළ නොහැකි පොරොන්දු ලබා නොදීමටත්, ඔවුන් කිසිදු ලෙසකින් අපහසුතාවයට හෝ කොන් කිරීමට ලක් නොකිරීමටත් ගුරුවරුන් වගබලා ගත යුතුය.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් හෝ තොරතුරක් දැනුම් දීම සඳහා 1929 ක්ෂණික ඇමතුම් අංකය ද, ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සඳහා 1926 යන අංකය ද භාවිත කළ හැකි බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.