මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
අප්‍රේල් 01 වනදා සිට ජුනි 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව මගින් විදුලි ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇත.
මෙම නව මිල සංශෝධනය යටතේ අඩු පරිභෝජනයක් සහිත ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 4.50 සිට රුපියල් 5.11 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ මිල රුපියල් 8.00 සිට රුපියල් 9.08 දක්වාත් ඉහළ දැමීමට අපේක්ෂිතය
මීට අමතරව, ඒකක 61 සිට 90 දක්වා රුපියල් 18.50ක්ව පැවති ඒකකයක මිල රුපියල් 21.01ක් ලෙසත්, ඒකක 91 සිට 120 දක්වා රුපියල් 24.00ක්ව පැවති මිල රුපියල් 27.25ක් ලෙසත් සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.
වැඩි විදුලි පාරිභෝජනයක් සහිත ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩය සඳහා දැනට අය කෙරෙන රුපියල් 41ක ගාස්තුව රුපියල් 46.56 දක්වා වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
එමෙන්ම, ඒකක 181කට වඩා වැඩි ඉහළ පාරිභෝජන කාණ්ඩය සඳහා ඒකකයකට අය කළ රුපියල් 61ක මුදල රුපියල් 69.27ක් දක්වා ඉහළ දැමීම සිය අපේක්ෂාව බව එම මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
