කළුතර, 117 වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ වර්තමානය වන විට මෙරට පවුල් සංස්ථාව බිඳ වැටීමේ බරපතළ අවදානමකට ලක්ව ඇති බවයි.
පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ප්‍රවණතාවක් සමාජය තුළ දක්නට ලැබෙන බවත්, එය ඉතා භයානක ලෙස මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත් උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.
සමාජයේ මූලිකම ඒකකය පවුල බව අවධාරණය කළ කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ, රටක් හෝ සමාජයක් ශක්තිමත් වීමට නම් එහි පදනම වන පවුල් ඒකකය ශක්තිමත් විය යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“අද කාලේ වෙලා තියන විශාලම විනාශය තමයි මේ පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදය. අද ශ්‍රී ලංකාව තුළත් මෙය ඉතාමත් භයානක අන්දමින් පැතිරීගෙන යන වසංගතයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතාමත්ම තේරුමක් නැති විදිහට හුදෙක් හැඟීම්වලට, රූපයට, පෙණුමට, සිනහවට පමණක් වහල්වෙලා විවාහ වෙලා ටික කලකින් එය අතහැර දමන යුවල් බොහොමයක් අද ශ්‍රී ලංකාව තුළ ජනිත වෙමින් පවතිනවා. කිසිම අර්ථයක් නැතිව විවාහ ජීවිතය සෙල්ලමකට ගන්න තත්ත්වයක් අද ලංකාව තුළ පවතිනවා.
විවාහ ජීවිතය කියන්නේ සමාජයේ පදනම. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළොත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කළොත් පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය. කතෝලික සභාව කියන්නේ කුඩාම ඒකකය තමයි පවුල කියලා. ඉතිං පවුල ශක්තිමත් නම් සමාජය ශක්තිමත් වෙනවා, පවුල් ජීවිතය ශක්තිමත් නම්, පවුල් ජීවිතය භක්තිවන්ත නම් කතෝලික සභාව භක්තිවන්න ආයතනයක් වීමේ හැකියාව පවතිනවා.”
