Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගැන තොරතුරු හෙළිවෙයි

9 months ago

කුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇති බවයි

ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනාට අමතරව තවත් පිරිසක් මීට සම්බන්ධ බවට සාර්ථක තොරතුරු ලැබී ඇති බවත්, දින කිහිපයක් ඇතුළත අපරාධය විසඳීමට හැකිවනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය. එමෙන්ම, අපරාධකරුවන් පැමිණි බවට සැකකෙරෙන ගිනිගත් වාහනය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන සිදුවන අතර, ඒ පිළිබඳ රසපරීක්ෂක වාර්තාව ලැබුණු පසු නිල වශයෙන් තහවුරු කරන බව හෙතෙම පැවසීය.

නීතිඥවරයෙකුට ඕනෑම පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඇති බව සිහිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මියගිය නීතිඥවරයා පෙනී සිටි නඩු කටයුතු පිළිබඳවද විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර ඇති බව සඳහන් කළේය. කෙසේ වෙතත්, ඝාතනයට හේතුව පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැක්කේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බව ඔහු අවධාරණය කළේය.

විමර්ශන කටයුතු ඉතා සංවේදී බැවින් ඇතැම් තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කළ නොහැකි බවත්, අසත්‍ය ප්‍රචාරවලින් විමර්ශනවලට බාධා විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් කරුණු ස්ථිරවම බැහැර කළ නොහැකි වුවද ඒවායේ සත්‍යතාව තහවුරු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.