හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දීමේදී ඔහු මාරාන්තික රෝගී තත්ත්වයකින් පසු වූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) ප්‍රකාශ කළේය. රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ දෙවන සැකකරු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේය.
මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ මෙම නඩුවේ පළමු සැකකරු වන රනිල් වික්‍රමසිංහ මහතාට පෙර සිටි විනිසුරුවරිය විසින් ඇප ලබා දී ඇත්තේ සුවිශේෂී වෛද්‍ය කරුණු සලකා බලා වුවද, ඔහු මාරාන්තික රෝගී තත්ත්වයකින් ප්‍රතිකාර ලැබූ බවට නිරීක්ෂණය නොවන බවයි. එමෙන්ම එම ඇප නියෝගය ලබා දීමේදී සලකා බලා ඇති වෛද්‍ය වාර්තා අධිකරණ නියෝග ප්‍රකාරව කැඳවූ ඒවා නොවන බවත්, ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි බරපතළ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගත් බවක් අනාවරණය වී නොමැති බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන විය යුතු බැවින්, පළමු සැකකරුට හිමි වූ සහනය දෙවන සැකකරුට ද අදාළ විය යුතු බව පවසමින් රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සමන් ඒකනායක මහතා මුදා හැරීමට නියෝග කෙරිණි. කෙසේ වෙතත්, රාජ්‍ය නායකයාගේ සංචාරයක් නිල හෝ පෞද්ගලික ද යන්න තහවුරු කර නොගෙන පහළ නිලධාරීන්ගේ තීරණ මත මූල්‍ය අනුමැතිය ලබා දීමෙන් සමන් ඒකනායක මහතා සාපරාධී චේතනාවෙන් ක්‍රියා කර ඇති බව ද මෙහිදී අධිකරණය නිරීක්ෂණය කළේය.
මේ අතර, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් අවශ්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. එමෙන්ම මෙම නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පතුරවමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට උත්සාහ දරන සංවිධානාත්මක පිරිස්වලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
