බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට ‘නිවාස අඩස්සියේ’ (House Arrest) තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඊයේ (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට බන්ධනාගාර ධාරිතාව 10,500ක් වුවද මේ වන විට 39,000ක පිරිසක් රඳවා සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉන් 28,000ක්ම වැරදිකරුවන් නොවූ සැකකරුවන් බව පැවසීය. විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සකස් කෙරෙන මෙම නව පනත හරහා සිරගත වන පිරිස අඩු කිරීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව දීර්ඝකාලීනව සිරගතව සිටින්නන්ගේ දඬුවම් අඩු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට විනිසුරු තුරෙයි රාජා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
දැනට අධිකරණ පද්ධතියේ නඩු ලක්ෂ 11ක් පමණ ගොඩගැසී ඇති බවත්, කාලය සහ මුදල් නාස්ති නොකර නඩු අවසන් කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ඉදිරියේදී අලුතින් අධිකරණ 07ක් ස්ථාපිත කිරීමට නියමිතය.
ආන්දෝලනයට තුඩු දුන් ‘කුලී ගෙවල් පනත’ පවතින ආකාරයෙන්ම නීතිගත නොකරන බවත්, මහජන අදහස් සලකා බලා කුලී හිමියාට මෙන්ම නිවැසියාට ද සාධාරණය ඉටුවන ලෙස එය සංශෝධනය කරන බවත් හෙතෙම සහතික විය. “අඩියක් පස්සට ගෙන ජනතාවට ඇහුම්කන් දීම පරාජයක් නොවෙයි” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
අකුරේගොඩ නීතිඥ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, එම සිදුවීමට අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරන බව පැවසීය. එහෙත් නඩුවලට පෙනී සිටීම නිසා සමස්ත නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටී ඇති බවට විපක්ෂය ගෙන යන මතය දේශපාලන ප්‍රචාරයක් පමණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
