අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්රදේශයේදී ඊයේ(11) රාත්රියේදී පුද්ගලයෙකුට වෙඩි තබා හිස කඳින් වෙන් කොට අමානුෂික ලෙස ඝාතනය කොට තවත් අයෙකුට මන්නා පිහියකින් පහර දී බරපතළ ලෙස තුවාල සිදු කිරීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ පියා බවයි පොලිසිය ප්රකාශ කර සිටියේ.
තුවාල ලැබූ පුද්ගලයා ප්රථීකාර සඳහා හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්රදේශයේ දී සිදුකරන ලද ත්රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30වෙනිදා ඇප ලබා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර දැනට සිදුකර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, එම ඝාතනයට පළිගැනීමක් ලෙස අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇති බවයි.
ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
