Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණයේ නවතම දැනුම්දීම

5 months ago

කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දී තිබෙනවා.  

එම මුහුදු තීරයන්හි විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් පමණ වන ඉතා තද සුළං ඇතිවීමේ අවදානමක් පැවතීම මීට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව, දිවයින වටා වන සෙසු මුහුදු තීරයන් පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටියේ සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බව පෙන්වා දෙන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දවසේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළු ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව දැනුම්දෙනවා.

මීට අමතරව අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම  පසුගිය දිනවල පැවති ආකාරයටම අද දින ද දිවයින පුරා සතුටුදායක මට්ටමක සුළං තත්ත්වයක් පවතින බව සඳහන්.

 ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං හැමීමට ඉඩ ඇති බවත්  දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 30ත් 40ත් අතර මධ්‍යම ප්‍රමාණයේ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.