Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනජීවි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

4 months ago

සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින්, වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද දිනයේදී බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා අවධාරණය කරන්නේ, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවයි. බඳවා ගැනීමේ ක්‍රමවේදයේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද, ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් මෙම තත්ත්වය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම නිර්මාණය කළ එකක් බවත් ඔහු පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලිය හරහා ක්ෂේත්‍ර සහයක නිලධාරීන්ගේ සිට වනසත්ව නියාමක, අඩවි සහකාර සහ අඩවි ආරක්ෂක ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට බරපතළ හානියක් සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කරන්නේ සේවකයින්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදී ඇති බවයි. තවද, සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් මේ වනවිට විශේෂ කමිටුවක් පත්කර ඇති බවත්, එමගින් අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිසි තීරණයක් ගනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.