දිට්වා ආපදා තත්ත්වයෙන් ඇතිවූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (iv) මඟින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී ඇත.
මීට පෙර ක්‍රියාත්මක වූ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා අදාළ දීමනාව ලබා දී තිබුණේ මාස 06ක කාලයක් සඳහා පමණි. එහෙත් “ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන” යටතේ සිදු කළ නව සංශෝධනයට අනුව එම සහනය පහත පරිදි ක්‍රියාත්මක වේ:
- සහනය: නායයෑම් හා ගංවතුරින් නිවාස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව.
- දීමනාව: මාසිකව රුපියල් 25,000/- බැගින්.
- කාලසීමාව: උපරිමය මාස 09ක් දක්වා (පෙර පැවති මාස 06ක කාලය තවත් මාස 03කින් මෙලෙස දීර්ඝ කර ඇත).
කෙසේ වෙතත්, 2025.12.05 දිනැති මූලික අයවැය චක්‍රලේඛයේ සඳහන් අනෙකුත් සියලුම කරුණු සහ කොන්දේසි කිසිදු වෙනසකින් තොරව තවදුරටත් එලෙසම බලපැවැත්වෙන බව භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
