Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 25කට පෙර කළ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පස්දෙනෙකුට මරණ දඬුවම! එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඒ අතර!

4 months ago

අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඊයේ (17) මරණ දඬුවම නියම කර තිබේ.

මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනි. මෙලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන මව, පියා, පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ සමීප හිතවතෙකුටයි.

මෙම අවාසනාවන්ත ඝාතන සිද්ධිය සිදුව ඇත්තේ මීට වසර කිහිපයකට පෙර එනම්, 2001 ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රී කාලයේදීය. නිට්ටඹුව පොලිස් බලප්‍රදේශයට අයත් දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙම සැකකරුවන් පිරිස බලහත්කාරයෙන් කඩා වැදී තිබේ. එහිදී නිවසේ සිටි පිරිසට මුලින්ම ගල් සහ පොලුවලින් දරුණු ලෙස පහර දී ඇති සැකකරුවන්, පසුව කඩුවලින් ද අමානුෂික ලෙස කපා කොටා ඇත.

එම දරුණු ප්‍රහාරයෙන් එච්. නිහාල් කුමාර නැමැති අවිවාහක තරුණයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, නිවසේ සිටි තවත් තිදෙනෙකු බරපතළ කැපුම් තුවාල ලබා දිවි බේරාගෙන තිබුණි. වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ මිනීමැරීමේ සහ බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා සැකයකින් තොරව අධිකරණය හමුවේ ඔප්පු වී ඇත. ඒ අනුව වරදකරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේය.