Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු පොලිස්පතිගේ මරණය ගැන 10ක ගෙන් ප්‍රශ්න කරයි

4 months ago

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

වත්මන් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) මාර්ගයෙන් ලබාදුන් විශේෂ නියෝගයකට අනුව, බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මඟින් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට අමතරව, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ (SSP) උපදෙස් සහ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ (ASP) සෘජු අධීක්ෂණය යටතේ මාලබේ පොලිසියේ ස්ථානාධිපතිවරයා (HQI) ඇතුළු කණ්ඩායමක් ද වෙනමම විමර්ශන සිදුකරනු ලබයි.

සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ මෙන්ම ඔහුගේ නිල ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ද දීර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සනාථ කරයි.

සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නැගෙනහිර කොළඹ රෝහලේ (මුල්ලේරියාව) අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදී ඇත. මරණයට හේතුව නිශ්චිතවම අනාවරණය කර ගැනීම සඳහා හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් (ඇතුළුදෑ වැනි කොටස්) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන තිබේ.

මේ අතර, හිටපු පොලිස්පතිවරයා වෙඩිතබා ගැනීමට යොදාගත් බව කියන සැකකටයුතු ගිනි අවිය ද මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.