Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත පිම්මක් ! අන්දමන් දූපතේ විදුලි බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

2 days ago

ඉන්දියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනයක් විසින් කැඳවනු ලැබූ ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩරයක් සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කරමින්, මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.

ඉන්දියාවේ අන්දමන් දූපත්හි ඉදිකිරීමට නියමිත මෙම බලාගාර ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 25කට ආසන්නය.

LTL හෝල්ඩිංග්ස් අනුබද්ධ ලක්දනවි සමාගමට මෙම කොන්ත්‍රාත්තුව හිමිවීම ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයට මෙන්ම ඉන්දු–ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාවටද වැදගත් සන්ධිස්ථානයකි.

ඉන්දියාවේ රාජ්‍ය අංශයට අයත් National Thermal Power Corporation (NTPC) Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් (ICB) හමුවේ ලක්දනවි සමාගම අඩුම ලංසුව (L1) ඉදිරිපත් කිරීමට සමත්වීමද විශේෂත්වයකි.

ව්‍යාපෘතියට අදාළ පූර්ණ වගකීම් සහිත ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් (EPC) ඇතුළත් ගිවිසුම 2026 සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාවේ නොයිඩාහි NTPC කාර්යාල සංකීර්ණයේදී අත්සන් කර ඇත. ඒ සඳහා NVVN, ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහභාගිව ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියේ තිබෙන සහයෝගීතා අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වය එහිදී සාකච්ඡා කර තිබේ.

අන්දමන් දූපත්හි පෝර්ට් බ්ලෙයාර් ප්‍රදේශයේ හෝප් ටවුන් හි මෙම බලාගාරය ඉදිකිරීමට නියමිතය. එමඟින් අන්දමන් දූපත් හි විදුලිබල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, LNG යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අනාගත ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කිරීම අපේක්ෂා කරයි.

බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම විසින් සපයනු ලබන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ වගකීම ලක්දනවි ඉංජිනේරු කණ්ඩායම සතු වෙයි.

1990 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ලක්දනවි සමාගම, LTL හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමකි. ස්වාධීන විදුලිබල නිෂ්පාදකයකු (IPP) ලෙස මෙන්ම තාප සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මෙහෙයුම් හා නඩත්තු (O&M) සේවා සැපයීමේ දශක ගණනාවක පළපුරුද්දක් ලක්දනවි සමාගම සතුය. බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල ද විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති සමාගමට මෙම කොන්ත්‍රාත්තුව හිමිවීම ඉන්දීය EPC වෙළෙඳපොළට පිවිසීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන LTL හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ බලගතුම බලශක්ති සමාගම වන අතර ලංකා විදුලිබල මණ්ඩලය සහ යුරෝපීය සමාගමක් අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ එහි කොටස් හිමිකාරිත්වයෙන් සියයට 35ක් මේ වන විට බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රජයට අයත් National Transmission Network System Provider (Pvt) Ltd (NTNSP) සතුය.

LTL හෝල්ඩිංග්ස් කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව රජයේ සතුට සහ ප්‍රශංසාව පළ කර තිබේ. ඉන්දියාව වැනි විශාල හා අතිශයින් තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

මෙමඟින් මෙම ජයග්‍රහණයේ ජාතික වැදගත්කම මෙන්ම ශ්‍රී ලාංකික සමාගම් තම සුවිශේෂී විශේෂඥතාව ජාත්‍යන්තර වෙළෙඳපොළවලට සාර්ථකව රැගෙන යාමේ වැදගත්කම තහවුරු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නුහුමාන් මරික්කාර් මහතා සඳහන් කළේ, මෙය ලක්දනවි සමාගමට සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයටම ලැබුණු කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.

සමාගමේ තාක්ෂණික හැකියාවන්, කණ්ඩායමේ කැපවීම සහ දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශයන්හි ද සංකීර්ණ විදුලි යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට ඇති හැකියාව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ගිවිසුමෙන් මනාව පිළිබිඹු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. තවද ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට NVVN සමඟ සමීපව කටයුතු කිරීමට ලක්දනවි සමාගම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය හිමිවීමද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගුකාලීන ආර්ථික සබඳතාවල ප්‍රායෝගික ප්‍රකාශනයක් වෙයි. ඒ ශ්‍රී ලංකාවේ ආයෝජන, සංවර්ධන ආධාර සහ යටිතල පහසුකම් සඳහා ඉන්දියාව දායක වන ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබුණද, ශ්‍රී ලාංකික සමාගම්වලට ද සිය විශේෂඥ දැනුම හා හැකියාවන් ඉන්දියාව තුළ යොදාගනිමින් දෙරටේ අන්‍යෝන්‍ය සංවර්ධනයට දායක විය හැකි බව මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන බැවිනි. අසල්වැසි රටවල් දෙකේ පෞද්ගලික අංශ අතර සමීප සහයෝගීතාව සහ ප්‍රායෝගික හවුල්කාරිත්වය වර්ධනය කිරීමෙන් දෙරටටම ප්‍රතිලාභ සැලසෙන ආර්ථික සහයෝගීතාවක් ගොඩනැඟිය හැකි බවද මෙයින් තහවුරු කෙරෙයි.