අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා විරෝධයක නියැලුණු පුවතක් වාර්තා වනවා.
මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඊයේ (08) රාත්‍රියේ මෙම තත්ත්වය හට ගෙන තිබේ.
විරෝධතාකරුවන් ආයතන පිවිසුම් දොරටුව අඟුලු දමා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධයේ නියැලී තිබේ.
ආයතන පාලන අධිකාරිය විසින් ඊයේ උදෑසන බෝනස් ලබානොදීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇති අතර, එහිදී ආයතනයේ උණුසුම් තත්වයක් සිදුව තිබුණි.
අවුරුදු බෝනස් ලබාදෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බව සේවකයින් දැනුම්දීමත් සමඟ ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලීසියට දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කර්මාන්තශාලාවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
එහෙත් අද (09) උදෑසන වනතෙක්ම සේවකයින් ආයතන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණු බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළේය.
