වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සදහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාල ප්‍රාදේශීය සභාව සදහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධූර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.
එහිදී අදාල මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටියද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව වග උත්තරකාර තේරීම් භාර නිලධාරියාගේ නීති විරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාල ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූව ඒ තුළින් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවා වලට දැඩි අගතියක් සිදුවන බවයි.
ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා සහ වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස් යන අය වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
