ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති අවසන් එක්දින තරගයේදී ක්‍රිකට් චර්යා ධර්ම කඩ කිරීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු බාබර් අසාම්ට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් සහ අසාදු ලකුණක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම කමිටුව තීරණය කර තිබේ.
එම තරගයේ පාකිස්තාන ඉනිමේ 21 වැනි පන්දුවාරයේදී තෙවැනි කඩුල්ල ලෙස ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බාබර් අසාම් දැවීයාමත් සමග ඔහු සිය පිත්තෙන් කඩුල්ලට පහරක් එල්ල කිරීම නිරීක්ෂණය වී ඇති අතර, ඒ හේතුවෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය වන “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, බිම් උපකරණ හෝ සවිකිරීම් සහ උපාංග අනිසි ලෙස භාවිත කිරීම” යන වගන්තිය කඩකිරීම යන චෝදනාව යටතේ මෙම දඩ මුදල පැනවීම සිදුකොට තිබේ.
තවද බාබර් වරද පිළිගෙන ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ අලි නක්වි විසින් යෝජනා කරන ලද දඬුවම පිළිගැනීම හේතුවෙන් විධිමත් විභාගයක් අවශ්‍ය නොවූ අතර මෙය මාස 24ක කාලයක් තුළ බාබර් කළ පළමු වරද බැවින් ඔහුගේ විනය වාර්තාවට අසාදු ලකුණක් එකතු කිරීමට ද ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලය කටයුතු කළේය.
