Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු යථාවත් කිරීමේ සංගණනය ඇරඹේ! නිවසට එන නිලධාරියාට දිය යුතු ලිපිලේඛන මෙන්න!

9 months ago

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර (2022/2023 වර්ෂ) සඳහා අයදුම් කරන ලද, දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ විශේෂ සංගණනයක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

වාර්ෂිකව තොරතුරු යථාවත් කිරීම අනිවාර්යයි

2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්තියට අනුව, ප්‍රතිලාභ ලබන පුද්ගලයින්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම අනිවාර්ය වේ. ඒ අනුව මේ වන විට පුද්ගලයින් 2,993,558 දෙනෙකු සිය තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ තොරතුරු තහවුරු කරගැනීමේ කටයුතු මාර්තු මස 28 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

නිලධාරීන් පැමිණෙන විට සූදානම් කර තබාගත යුතු ලිපිලේඛන

අදාළ වසම භාර සංගණන නිලධාරියා විසින් නිවෙස් වෙත පැමිණ තොරතුරු තහවුරු කරගනු ලබන බැවින්, පහත සඳහන් ලිපිලේඛන සූදානම් කර තබාගන්නා ලෙස මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි:

  • පවුලේ වයස අවුරුදු 18 ට වැඩි සියලු සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත්.
  • පසුගිය මාස 03 ක විදුලි බිල්පත්.
  • ඉඩම්වල හිමිකම් තහවුරු කරන ඔප්පු.
  • වාහන ඇත්නම් ඒවායේ හිමිකම් බලපත්‍ර.
  • අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට වෛද්‍ය සහතික.

මීට අමතරව, වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු ආධාර අපේක්ෂාවෙන් අයදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයින්ගේ තොරතුරු ද මෙම සංගණනයේදී ආවරණය කරනු ලබයි.

අසත්‍ය තොරතුරු ලබාදීම දඬුවම් ලැබිය හැකි වරදක්

මෙම ක්‍රියාවලියේදී යම් අයෙකු හිතාමතාම අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ නම්, එය සුබසාධක පනතේ 20 වන වගන්තියට අනුව බරපතළ වරදකි. එවැනි වරදක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ඔප්පු වුවහොත්:

  1. රුපියල් 5,000කට නොවැඩි දඩයක්.
  2. වසරක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමක්.
  3. හෝ ඉහත දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලය ඇත.

එබැවින් සංගණන නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා දී මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.