රූපවාහිනී නාලිකා මගින් උදෑසන කාලයේ සිදුකරන පුවත්පත් විග්රහයන් හේතුවෙන් දේශීය පුවත්පත් කර්මාන්තය වේගයෙන් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මීට පෙර රූපවාහිනී නාලිකා මගින් පුවත්පත්වල සිරස්තල පමණක් ප්‍රකාශ කළ ද, වර්තමානය වන විට නිවේදකයන් තමන්ට රිසි පරිදි පුවත්පත් අන්තර්ගතය සම්පූර්ණයෙන්ම විග්රහ කිරීමට පෙළඹී ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව අතර පුවත්පතක් මිලදී ගෙන කියවීමේ අවශ්‍යතාව ගිලිහී ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. රූපවාහිනී නාලිකා මගින් පුවත්පත් වාර්තා කරන ආකාරයට සවන් දීම නිසා ජනතාව පුවත්පත් මිලදී ගැනීමට යොමු නොවන අතර, එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස පුවත්පත් ආයතන වැසී යාමේ අවදානමක් මතු වී ඇත. මෙම බලපෑම මාධ්‍යවේදීන්ට පමණක් නොව, පුවත්පත් අලෙවිකරුවන් ඇතුළු ක්ෂේත්රයේ සියලුම පාර්ශවයන්ට දැඩිව එල්ල වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
පවතින පුවත්පත් ආයතන හෝ ආරක්ෂා කර ගැනීම සඳහා මාධ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එවැනි එකඟතාවකට නොපැමිණියහොත් ඉදිරියේදී පුවත්පත් කර්මාන්තය තවදුරටත් දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, පුද්ගලිකත්වය සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය නියාමනය සඳහා නව නීති සකස් කරමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර, විවිධ අපරාධ සහ සියදිවි නසාගැනීම් වැනි අහිතකර සිදුවීම් වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
