අභියාචනාධිකරණයට හා එහි විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්ට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ අවසර ලබා දුන්නා.
ඒ අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් ඔහු නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා අදාළ විනිසුරුවරයාට අපහාස වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළ කර තිබෙනවා. ඒ සඳහා තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූපද පළ කර ඇති බවයි විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ.
එම ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර නඩු කෘත්‍යයක් ලෙස විභාග නොවූ බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවත් විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා පළකර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කර, ජනතාවට අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ.
