Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ පෙට්‍රල් ෂෙඩ්වල සිදුවන අලුත්ම වෙනස

2 years ago

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම ජනාධිපති කාර්යාලයේදී අද (14)  සිදු කෙරිණි.

ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රධාන ඉන්ධන සපයන්නන් සිව් දෙනෙකු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව , ලංකා IOC PLC (LIOC), සිනොපෙක් එනර්ජි ලංකා (පෞද්ගලික) සමාගම සහ RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් පිරිසිදු, ආරක්ෂිත සහ දුබලතා ඇති පිරිස් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථාන බවට පරිවර්තනය කිරීම අරමුණු කෙරේ.

ඒ අනුව, වසර තුනක කාලයක් තුළ මහජනතාව වෙනුවෙන් නවීන සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථාන 540ක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ඇති අතර 2025 වසර අවසන් වන විට ස්ථාන 100ක් සම්පූර්ණ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තිරසාර මහජන සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බව ත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙහිදී කියා සිටියේ ය.

රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීත්වයෙන් මෙරටට වඩාත් ප්‍රතිඵලදායක සේවාවක් ලබා දිය හැකි බවට මෙය හොඳ උදාහරණයක් බව ත් ඉදිරියේදී සුපිරි වෙළෙඳසැල් වැනි පෞද්ගලික ආයතන මගින් තවදුරට ත් මෙම වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ත් ඔහු සදහන් කළේ ය.

මෙය ගිවිසුමක් පමණක් නොව පිරිසිදු සෞඛ්‍ය සම්පන්න හා සාඩම්බර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිදු කරන පොරොන්දුවක් බව ද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේය.