Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 400ක් වටිනා සුපිරි නිවසක් තහනම් කෙරේ

8 months ago

ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන, දැනට විදෙස්ගතව සිටින මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්ත චාමර’ නමැත්තාගේ බිරිඳගේ නමින් ඇති රුපියල් ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (13) පියවර ගත්තේය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මෙම නිවස මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව ජා-ඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවස දින 7ක කාලයක් සඳහා තහනම් කර ඇති අතර, එම නියෝගය දීර්ඝ කරවා ගැනීම සඳහා මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතය.

මෙම නිවස මීට මාස දෙකකට පමණ පෙර වෙනත් පිරිසක් විසින් කුලී පදනම මත ලබාගෙන වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. නිවස තහනම් කිරීමත් සමඟ එහි සිටි වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු ඉන් පිටව ගියහ. මෙම නිවස ඉලක්ක කරගනිමින් මීට පෙර අවස්ථා 3කදී වෙඩි තැබීම් සිදුව ඇති අතර, අවසන් වරට පසුගිය 7 වනදා ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.