දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජල පරිභෝජනය උපරිම මට්ටමකට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.
ජල ඉල්ලුම අධික ලෙස ඉහළ යාම නිසා සාමාන්‍ය ජල සැපයුම් පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත්, එමඟින් ජල සැපයුමට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩාල වීම් සහ ජල පීඩනය අඩුවීම් වාර්තා වී තිබේ.
පවතින තත්ත්වය හමුවේ ජනතාවට අඛණ්ඩව ජලය ලබාදීම සහතික කිරීම සඳහා ජල සම්පාදන බලධාරීන් එක්ව විශේෂ කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ යටතේ ජල මූලාශ්රවල තත්ත්වය නිරීක්ෂණය කරමින් ජලය බෙදාහැරීම ක්‍රමවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වියළි කාලගුණය පානීය ජලයට පමණක් නොව, කෘෂිකාර්මික කටයුතු සහ ජල විදුලි නිෂ්පාදනය සඳහා ද මේ වන විට දැඩි බලපෑම් එල්ල කරමින් පවතී. එබැවින් රථවාහන සේදීම සහ ගෙවතු වගාවන් සඳහා පානීය ජලය භාවිත කිරීමෙන් වැළකී, ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
