Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවෙන් විශේෂ ගැසට්ටුවක්

6 months ago

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව,  2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දිනැතිව විශේෂ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මීට ඉහතදී ක්‍රියාත්මක වූ රීති මාලාවේ 4 වන සහ 6 වන රීතීන් අවලංගු කරමින් මෙම නව විධිවිධාන හඳුන්වා දී ඇති අතර, පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවන දිනයේ සිට මෙම නවතම රීති මාලාව බලාත්මක වන බව සඳහන්.  

ඕනෑම මාසයක් තුළ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් පහත සඳහන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කිරීමෙන් අනතුරුව, එහි ශේෂය එළැඹෙන මාසයේ 10වන  දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව එම ගැසට්ටුවේ සදහන්.

එලෙස අපනයන ආදායම්වලින් විදේශ මුදලින්ම පියවා ගැනීමට අවසර ලබා දී ඇති නිශ්චිත ගෙවීම් වර්ග 6 පහතින්,

(i) එක් මාසයක වගකීම් ද ඇතුළුව අපනයන ව්‍යාපාරයට අදාළ ජංගම ගනුදෙනු සඳහා වන ගෙවීම්.

(ii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනත හෝ 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රෙගුලාසි, නියෝග සහ විධාන ප්‍රකාරව, එක් මාසයක වගකීම් ද ඇතුළුව භාණ්ඩ අපනයනකරුවන් විසින් විදේශ වාණිජ මුදලින් ලබාගන්නා ලද ණය මුදල් ආපසු ගෙවීමේ වියදම් සහ ණය වාරික ගෙවීම්.

(iii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අවසර දී ඇති පරිදි අනේවාසික ආයෝජකයින්ට ප්‍රකාශිත ලාභාංශ ගෙවීම් සහ/හෝ විදේශීය ජාතිකයින් හෝ ද්විත්ව පුරවැසියන් වන ප්‍රවාසික සේවකයින්ට වැටුප් ගෙවීම්.

(iv) අපනයන ව්‍යාපාරයට අදාළ සංචාරක අරමුණු සඳහා විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ආපසු ලබාගැනීම හෝ අරමුදල් මාරු කිරීම.

(v) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන විදේශ මුදල්වලින් නම් කරන ලද ණය සුරකුම්පත්වල ආයෝජනය සඳහා, එම ලබන්නා වූ අපනයන ආදායමෙන් ප්‍රතිශතක දහයක් (10%) දක්වා සිදුකරන ගෙවීම්; සහ

(vi) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව නිකුත් කරන ලද විධානයන් යටතේ අවසරලත්, විදේශ මුදලින් වගකීම් ඇති චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට සිදුකරන ගෙවීම්.

ගැසට් නිවේදනය මඟින් ආදේශ කර ඇති නව 6 වන රීතියට අනුව, ඉහත සඳහන් කළ 4 (vi) වන රීතිය ප්‍රකාරව ඕනෑම මාසයක් තුළ අපනයන ඉපැයීමකින් විදේශ මුදලින් ගෙවීම් ලබන සෑම චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම, එලෙස ලැබෙන ආදායමෙන් ඉහත 4 (i) සිට (v) දක්වා වන රීතීන් යටතේ සඳහන් කර ඇති අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු බව සඳහන් වනවා.

එලෙස භාවිත කිරීමෙන් අනතුරුව ඉතිරි වන සියලුම ශේෂයන්, එළැඹෙන මාසයේ 10වන දින හෝ ඊට ප්‍රථම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මෙම නව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.