දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි තද සුළං සහ ස්වභාවයෙන් රළු මුහුදු තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා, මුලතිවු සිට ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙය බලාත්මක වනු ඇත.
ඉහත සඳහන් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාවක් පවතී.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0ත් 3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැක.
පවතින මෙම අවදානම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව නිරන්තරයෙන් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
