2018 වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සම්බන්ධයෙන් මතුවූ මතභේදාත්මක පන්දු පලුදු කිරීමේ සැලැස්ම හෝ වැලි කඩදාසි භාවිතය පිළිබඳව තමන් කිසිවක් නොදැන සිටි බවට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්ථාන හිටපු සුපිරි වේග පන්දු යවන්නා වන වසීම් අක්‍රම් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබේ. එහිදී අක්‍රම් පෙන්වා දී ඇත්තේ පළපුරුදු පන්දු යවන්නෙකුට පන්දුව අතට ගත් විගසම එහි යම් අසාමාන්‍යතාවක් හෝ වෙනසක් පහසුවෙන් හඳුනාගත හැකි බවයි.
තමන් කිසිදු පාර්ශ්වයකට පක්ෂග්‍රාහීව අදහස් නොදක්වන බව සඳහන් කරන වසීම් අක්‍රම්, වැලි කඩදාසියකින් පන්දුවට සිදුවන හානිය සහ සාමාන්‍ය ක්‍රීඩා තත්ත්වයන් යටතේ ක්‍රීඩා පිටියේදී පන්දුවට සිදුවන ගෙවී යාම සම්පූර්ණයෙන්ම වෙනස් බව අවධාරණය කර ඇත.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සැමවිටම අවංකභාවය සහ සෘජු බව වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන ජාතියක් බව සිහිපත් කළ ඔහු, යළි මතුව ඇති මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් සමස්ත රටම යම් පීඩනයකට මුහුණ දී සිටින බවත්, මෙම ගැටලු කඩිනමින් විසඳී යනු ඇතැයි අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
