ජාතික පාසල් 1,000ක් ආරම්භ කිරීමට 2019 වසරේ ඇරඹි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,600ක මුදලක් වැය කර තිබුණද, ඒ යටතේ ජාතික පාසල් බවට පත්ව ඇත්තේ පාසල් 22ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.
ප්‍රධාන කරුණු සැකෙවින්:
- ව්‍යාපෘතියේ අරමුණ සහ ක්‍රියාත්මක කිරීම: 2019 වසරේ ප්‍රතිපත්තියක් අනුව දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජාතික පාසල් 03 බැගින් ස්ථාපිත කරමින් ජාතික පාසල් 1,000ක් ඇති කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවා ඇත.
- මුදල් වෙන් කිරීම සහ අත්හිටුවීම: තෝරාගත් පාසල් 802ක් සඳහා එක් පාසලකට රුපියල් මිලියන 02 බැගින් (භෞතික සම්පත් දියුණු කිරීමට රුපියල් මිලියනයක් සහ උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියනයක් ලෙස) ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,600ක මුදලක් ගෙවා ඇතත්, 2023 වසරේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ.
- මුදල් භාවිතය පිළිබඳ සමාලෝචනය: මුදල් ලබා දුන් පාසල් 802 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සොයා බැලූ අතර, එහිදී කිසිදු ගැටලුවක් අනාවරණය නොවූ බව ලේකම්වරයා සඳහන් කළේය. භෞතික සම්පත් සංවර්ධනය සහ උපකරණ මිලදී ගැනීම් සඳහා වෙන් කළ මුදල් භාවිත කර ඇති බව අදටද පාසල්වලදී දැකගත හැකි බව ඒ මහතා කාරක සභාව හමුවේ පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා,
“මේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2019 එවකට ජනාධිපතිතුමන්ගේ රජයේ ප්‍රතිපත්තියේ තියෙනවා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාසයකට ජාතික පාසල් 3ක් බැගින් පාසල් 1,000ක් ඇතිකරනවා කියලා. ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපෘතිය මෙහෙයවලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. ඒ අනුව පාසල් 802ක් තෝරගෙන මිලියනයක් භෞතික සම්පත් දියුණු කිරීමට සහ මිලියනයක් අනෙකුත් උපකරණ මිලදී ගැනීමට වශයෙන් එක පාසලකට මිලියන 2ක් වශයෙන් ලබා දීලා තිබෙනවා. එතකොට පාසල් 802කට ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් පාසල්වලට ගෙවීම් කරලා තියෙනවා. 2023 දි ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවලා තිබෙනවා. එතකොට මේ පාසල් 802 සඳහා ලබා දුන් මුදල් ගැන අපි සොයලා බැලුවා. ඒකෙදි කිසිදු ආකාරයකට ගැටලුවක් ඇතිවෙලා නෑ. ඒ භෞතික සම්පත් දියුණු කිරීමට ලබා දුන් මුදල් පාසල් කිහිපයක වියදම් කරලා තියෙනවා. ඒක පාසලේ තාප්පය ඉදිකිරීම, ගේට්ටුව ඉදිකිරීම සහ බෝර්ඩ් එක කියන කාරණා අපි අදත් යනකොට දකිනවා. පාසල් ඉදිරිපෙල ඒ විදිහට සංවර්ධනය වෙලා තිබෙනවා. උපකරණ මිලදී ගැනීමත් අවශ්‍ය විදිහට කරලා තිබෙනවා. නව රජය බලයට පත් වුණාට පස්සෙත් 2025 පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය කරන ලද ප්‍රකාශයකින් දැනුම් දෙනවා ජාතික පාසල් බවට පත් කිරීමට අදහසක් නොමැති බව. ඒ කියන්නේ පාසල් 396ට වඩා ජාතික පාසල් බවට පත් කිරීම ප්‍රායෝගික නෑ. ඒ අනුව එතැනින් එහාට ජාතික පාසල් බවට පත්වීමක් සිදුවන්නේ නෑ… ඔය කියන පාසල් 802 අතුරින් පාසල් 22ක් ජාතික පාසල් විදිහට පිළිඅරන් තිබෙනවා. අපි දැන් කියන්නේ ජාතික පාසල් 396ට අලුතින් එක්වූ පාසලුත් අයත් වෙනවා”
