ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇති “පොහොසත් ගමක් – පොහොසත් රටක්” ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) යටතේ ගොඩනැගෙන පළමු ආදර්ශ ගම්මාන දෙක ලබන මාසයේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම පළමු ආදර්ශ ගම්මාන දෙක මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ ප්‍රදේශයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත ය.
පොහොසත් ගමක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණය, ප්‍රවාහන, විදේශ රැකියා යන ක්ෂෙත්ර සියල්ලම ආවරණය වන පරිදි පියවර 20 කින් සමන්විතව ධම්මික පෙරේරා මහතා විසින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.
සමස්ත රටටම ගැලපෙන පරිදි මෙම පියවර 20 සකස් කර ඇති අතර තෝරාගත් ප්‍රදේශ දෙකේ අවශ්‍යතාවන් අනුව මෙහි අවශ්‍ය පියවර සම්පූර්ණ කරමින් ධම්මික පෙරේරා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම පළමු ආදර්ශ ගම්මාන දෙක පිහිටුවීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී.
ඒ අනුව අප්‍රේල් 17 වනදා බිබිල වෑගම ප්‍රදේශයේ පැවැත්වෙන අවුරුදු උත්සවයක් ද සමගින් පළමු ආදර්ශ ගම්මානය විවෘත කෙරෙනු ඇති අතර අප්‍රේල් 18 වනදා අලවතුගොඩ, කොනකලගල ප්‍රදේශයේ පැවැත්වෙන අවුරුදු උත්සවයක් සමගින් දෙවැනි ආදර්ශ ගම්මානය විවෘත කෙරෙනු ඇත.
මෙරට දේශපානඥයෙකු නිසි ක්‍රියාකාරී සැලැස්මකින් යුතුව මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා හේතු වන වැඩපිළිවෙළක් තම පෞද්ගලික මුදලින් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

