පසුගිය බ්‍රහස්පතින්දා(27) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස් විය.
එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායකවරයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත විය.
එම රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර ගැටුමක් හටගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිස පිටතට පැමිණෙමින් සිටියදී ‘රනිල්ගේ දරුවෝ වගේ ‘ කියමින් එරන්ද ගිනිගේ මහතා එම අවස්ථාවේ සිදු කළ විහිළුවක් මුල් කර ගනිමින් එම ගැටුම ඇතිව තිබෙනවා.
මෙයින් කෝපයට පත් කංචන විජේසේකර මහතා ඔහුට පහරදීමට උත්සහ කළ බවත් අසල සිටි මන්ත්‍රීවරුන් මැදිහත්ව ඇතිවීමට ගිය ගැටුම සමථයකට පත් කර ඇති බවද වාර්තා වනවා.
දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජාතික සංවිධායකවරයා ලෙස පත් කිරීමේ යෝජනාව කමිටුවට ඉදිරිපත් වන තෙක් එය රහසිගතව තබා ගැනීමට රාජපක්ෂ හිතවාදීන් සමත්ව ඇති බවයි.

