ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බව පවසමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්.
ඔහු සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකරමින් ඊයේ (22) මේ බව දැනුම් දී තිබුණා.
එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් පවතින බවයි ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ.
එමෙන්ම යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවත් එම ලිපියේ සඳහන් වනවා.

