“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බවයි.
“සිරි දළදා වන්දනාව” සඳහා වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.
මේ අතර, සිරි දළදා වන්දනාවෙන් අනතුරුව වන්දනාකරුවන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථවාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා සඳහන් කළා.
“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.
අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා “සිරි දළදා වන්දනාව” පැවැත්වීමට නියමිතයි.
දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් වන්දනාකරුවන් පිරිසක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.
මේ හේතුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වනවා.
ඒ අනුව ජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරී යෙදවීම සිදුකරනු ලබන අතර ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරින් 35ක් ඇතුළු පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යෙදවීමට නියමිතයි.
වන්දනාකරුවන්ගේ ආරක්ෂාව හා රථ වාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින්, පොලිස් නිල සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා තිබෙනවා.
දළදා වන්දනාව සඳහා පැමිණීමේ දී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවයක් ද ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.
