Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංග්ලාදේශ කප්පම් කල්ලියක් විසින් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගනී

2 years ago

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මත මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පසුගිය අඟහරුවාදා (22) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ඇත්තේ, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක සාමාජිකයන් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක්ද සිටිනවා.

අදාළ කප්පම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යපාරිකයන් සමග ව්‍යාපාරික සුහඳතාවක් ගොඩනගාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ආරධනයක් මත මෙම ව්‍යාපාරිකයන්ව  බංග්ලාදේශයට ගෙන්වාගෙන මෙම පැහැරගැනීම සිදුකර තිබෙනවා.

කප්පම්කරුවන් විසින් පැහැරගත් ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ සාමාජිකයන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වී කප්පම් ඉල්ලා ඇති අතර, එය ලබා නොදෙන්නේ නම් ඔවුන්ව නිදහස් නොකරන බවට තර්ජනය කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් එම පවුලේ සාමාජිකයන් බංග්ලාදේශ ආරක්ෂක අංශ දැනුම්වත්කර තිබෙනවා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වී ඇති බාගර්හාට් පොලීසිය ක්ෂණික මෙහෙයුමක් දියත්කර කප්පම් සඳහා රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනාම බේරාගෙන තිබෙනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තාකර සිටියේ පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 52, 24, 38 හා 45 වියෙහි පසුවන බව බංග්ලාදේශ මාධ්‍ය පවසනවා.

එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, බේරාගත් ශ්‍රී ලාංකයන් තිදෙනා මේ වනවිට ආරක්ෂිතව බංග්ලාදේශයේ රැඳී සිටින බවයි.