2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඒ පිළිබඳ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිමර්මාණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරහිව ගොනුකර ඇති නඩුව ජූලි මස 25 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක අද(30) නියම කළා.
මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා විත්තිකාර පාඨලී චම්පික රණවක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනයේ තීන්දුව මෙතෙක් ලැබී නොමැති බැවින් එම තීන්දුව ලැබෙන තෙක් මෙම නඩුව කල් තබන ලෙසත් විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාල නඩුව ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට නියම කළා.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල යන අය නම් කර තිබෙනවා.
