Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹට වෙසක් බලන්න එන ජනතාවට දැනුම්දීමක්! විශේෂ රථවාහන සැලැස්මක්!

2 years ago

වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධාන කෙරෙන වෙසක් කලාප හේතුවෙන් මාර්ග රැසක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ ඒවා නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

ඒ වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

බෞද්ධාලෝක වෙසක් කලාපය,   බුද්ධ රශ්මි වෙසක් කලාපය ඇතුළු තවත් වෙසක් කලාප කීපයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව බෞද්ධාලෝක වෙසක් කලාපය බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භ වී බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හංදිය,  ඩී එස් හංදිය,  කනත්ත වටරවුම්,  බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හංදිය දක්වා පැවැත්වෙනවා.

මෙම කලාපයට අදාළව මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර රාත්‍රී 7 සිට වාහන ගමනා ගමනය එක් දිසාවකට පමණක් සිදුකෙරෙනවා.

ඒ අනුව බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාරයේ සිට කනත්ත වටරවුම දක්වා සාමාන්‍ය පරිදි වාහන ගමනාගමනය සිදුකෙරෙනවා.

බොරැල්ල කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා බෞද්ධාලෝක මාවතේ කනත්ත වටරවුමේ සිට තුංමුල්ල හංදිය දක්වා එක් දිසාවකට පමණක් රථවාහන ගමනාගමනය සිදුකෙරෙනවා.

එමෙන්ම බෞද්ධාලෝක මාවත කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොටසට සියලුම අතුරු මාර්ගවලින් ඇතුළුවන වාහන මංතීරු 4ම ඔස්සේ තුම්මුල්ල හංදිය දෙසට ගමන් කරවන බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

බුද්ධරශ්මී වෙසක් කලාපය කොම්පඤ්ඤ වීථිය පොලීසිය වටරවුම සිට කුමාරන්රත්නම් පාර,  කොම්පඤ්ඤ වීථීය හංදිය,  ජේම්ස් පීරිස් මාවත,  පිත්තල හංදිය,  මල්පාර,  අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද එම මාර්ගයට සම්බන්ධවන ජිනරතන මාවත,  නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශය දක්වා පැවැත් වෙනවා.

ඒ හේතුවෙන් උත්තරානන්ද මාවත,  රොටුන්ඩා පාර,  පෙරහැර මාවත,  ජේම්ස් පීරිස් මාවත,  අල්විස් පෙදෙස,  රාමනායක මාවත,  ජිනරතන මාවත,  මුත්තයියා පාර,  නවම් මාවත,  ධර්මදාස මාවත හා විතානගේ මාවත යන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

මේ අතර ගාලුමුවදොර ආශ්‍රිත ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට ජනතාව විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ ද රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව හෙට (12) සහ අනිද්දා (13) දිනයන්හිදී කොළඹ කොටුව ගාලුමුවදොර,  වරාය නගරය සහ කොල්ලුපිටිය හංදිය දක්වා රාත්‍රී 7 සිට රථවාහන ගමනාගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකරන බවයි පොලීසිය දැනුම් දෙන්නේ.

වෙසක් කලාප ක්‍රියාක්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ,  ගල් වැලි පැටවූ ටිපර් රථ ඇතුළුවීමට අවසර නොදෙන බව ද පොලීසිය පවසනවා.