මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගැටීමෙන් එම කොස්තාපල්වරයා මියගොස් තිබෙනවා.
අද අලුයම හලාවත කොළඹ මාර්ගයේ මාරවිල මූලික රෝහල ආසන්නයේදීයි මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරෙන් තුවාල ලැබූ තවත් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.
හලාවත කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 4 දෙනෙකු රථවාහන රාජකාරිවල නිරතව සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යට කරගෙන ගොස් නැවතී තිබෙනවා.
අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ විසි දෙහැවිරිදි සරසවි සිසුවියක සහ එහි ගමන් ගත් ඇයගේ මව හා මිත්තනිය ද තුවාල ලබා රෝහල් ගතකර සිටිනවා.
මෙම අනතුරෙන් පොලිස් රථවාහන අංශයට අයත් යතුරු පැදි දෙකකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
