Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ බලය අල්ලන ගේමට රනිල් මැදිහත් වෙයි

2 years ago

කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ පක්ෂවල නායකයින් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

විපක්ෂයේ පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉක්මවා යාමත් සමග කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීම අරමුණු කර ගනිමින් මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයේ වැඩිම ඡන්ද ලබා ගත් එකම පුද්ගලයා වුවද, එහි නගරාධිපතිවරයා නම් කළ නොහැකි අතර ඒ වෙනුවට බහුතර අනුමැතිය ඇතිව පළමු රැස්වීම් දිනයේ රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා පත් කර ගැනීම සිදුකළ යුතුව පවතිනවා.

කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සඳහා මෙම අවස්ථාවේ නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බවයි.

මේ අතර හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගරසභාවේ බලය ඇල්ලීමේ සටනට මැදිහත්ව සිටින බව වාර්තා වේ.

ඒ මහතා මේ වනවිටත් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුම සමග සාකච්ඡා පවත්වා ඇති අතර ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විපක්ෂයේ සියලු දෙනාටම එකඟ විය හැකි මෙන්ම කොළඹට වැඩක් කළ හැකි ශක්‍යතාවයෙන් යුතු නායකයකු කොළඹ නගරාධිපති තනතුරට පත්කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙසේ සාකච්ඡා පැවැත්වෙන බවත් ආරංචිමාර්ග පැවසීය.