කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙනවා.
මේ අතර, කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද එම පක්ෂය අද පියවර ගෙන තිබුණා.
ඒ, කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී පක්ෂයේ අභිමතය පරිදි කටයුතු නොකිරීම හේතුවෙන්.
එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබුණා.
