මේ වෙලාවේ ලංකාවේ BYD විදුලි කාර් ආනයනය සම්බන්ධයෙන් ගින්නක් යනවා. ඇතිවෙලා තියෙන ගැටලුව මතුපිටින් බදු – රේගු ප්‍රශ්නයක් වගේ පෙනුනට ඒක ඊට වඩා ගැඹුරුයි. මට දැනෙන විදිහට නම් රේගුවේ රඳවාගෙන සිටින කාර් 1000 ක ප්රශ්නය හුදු බදු හුටස්පරයක් විතරක් නෙවෙයි; මේක ඇතුළේ සැඟවිලා තියෙන්නේ විදුලි වාහන (EV) කියන නවීන ප්‍රවාහන මාධ්‍යයට එරෙහිව යන යටි සටනක්..!! ඒ ගැන විරෝධයක්..!! කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි විදුලි වාහන මේ රටේ පරිභෝජනයට එක්වෙන එක තවත් වසර ගාණකට ආපස්සට අදින කුහක වැඩක්. කොහෙත්ම අනුමත කළ නොහැකි වෙළඳපළ ගේමක්.
මේ තත්ත්වය පිටුපස ඇත්තේ බොහෝ දුරට ඉන්දියන්- ජපන් පෙට්‍රල් – ඩීසල් වාහන ලඩි උඩ ලංකාව නතරකර තියාගන්න හදන ව්‍යාපාරික ගැටයක් වෙන්නම ඕන. නැත්නම් ඒමත යැපෙන පටු වාසි සහ කුහක අදහස් ගැත්තන්ගේ ගේම් ප්ලෑං එකක් වෙන්නම ඕන. ඇයි දන්නවාද එහෙම කියන්නේ ?
පලවෙනි කාරණය තමයි දැන දින ගානක ඉදලා BYD වාහන අන්තර්ජාතික සහතික ලත් විද්යගාරයක පරික්ෂා කරන්නේ නැතුව ඉන්නවා. හිතා මතා නිලධාරින් විදුලි වාහන (EV) ගෙන්විම අධයෙර්මත් කිරිමට ද එහෙම කරන්නේ යන සැකය ජනිත වෙනවා.
දෙවැනි කාරණය තමයි , මංගල සමරවීර මහතා මුදල් ඇමතිව සිටි කාලයේ විදුලි වාහනවලට සහන දෙන්න යද්දීත්, ඉන්දියන්-ජපන් වාහන බිස්නස් සෙට් එකක් බැහැලා දන්න වැඩ සේරම දාලා ඒ වැඩේ අල කරන්න බැලුවා. යාළු මිත්‍ර වේශයෙන් වගේම දේශපාලන සම්බන්ධතා පවා පාවිච්චි කළා. ඒ ගැන දන්නෝ හොඳට දන්නවා. අන්තිමේ බැරිම තැන සිල්ලරට සල්ලි විසි කරලා කුඩු වෙන්න ගැහුවා. ඒ සිද්ධියෙන් පස්සේ ආපු ඇමතිවරුත් විදුලි කාර් දිහා බලන්න බය කළා. හැබැයි රටට නම් යහපතක් වුණේ නෑ.
ඒ මතවාද සහ පටු ආර්ථික අවශ්‍යතා නිසා, රටක් ලෙස අපිට විශාල පසුබෑමකට ලක්වෙන්න සිදුවුණා. රටක් ලෙස අපිට නව තාක්ෂණයට අනුගත වීමේ විශාල අවස්ථාවක් අහිමි වුණා. වෙනත් රටවල් ඉදිරියට යද්දී, අපි තවත් පසුපසට ගියා. අදටත් අපි එහි ප්‍රතිවිපාක විඳිනවා.
අද දවසින් දවස ඉහළ යන පෙට්‍රල් සහ ඩීසල් මිල නිසා ප්‍රවාහන වියදම් දරාගන්න බැරිවෙලා. අපි හැමෝම අසරණ වෙලා. පරණ, දැවැන්ත ඉන්ධන දහනයක් සිදුවෙන වාහන පාවිච්චි කරනවා කියන්නේ, අපේ දහදිය මහන්සියෙන් හම්බ කරන සල්ලි විශාල කොටසක් ඉන්ධන වලට පුච්චලා, අපේ මුදල්, කාලය සහ ශ්‍රමය අනාගතයට නැතිකර ගන්නවා කියන එකයි. ඒ වෙනුවට විදුලි වාහනයක් භාවිතයෙන් ඉන්ධන සඳහා වැය වන මුදලට වඩා ඉතා අඩු මුදලක් විදුලිය සඳහා වැය වන්නේ. මේ නිසා රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගන්නත් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි. අද ගෝලීය සංවාදය තියෙන්නේ කාබන් 0 කරගැනීම ගැන. පෘථිවි උෂ්ණත්වය ඉහළ ගිහින් ග්ලැසියර් දියවෙන, සාගර ජල මට්ටම ඉහළ යන මේ යුගයේදී, කාබන් විමෝචනය අඩු කරගැනීම රටක් විදිහට අපේ වගකීමක්. අපේ සස්ටේනබල් ඩිවලොප්මන්ට් ගෝල්ස් වලත් අපි කාබන් සීරෝ කරගන්න බැඳිලා ඉන්නේ.
ඒ කතා මොනවා වුණත්, පරිසර ප්‍රශ්න එනවා කියලා කරත්තෙන් යන්න බෑනේ, විල්බැරෝ , ගොං කරත්ත පදින්න කියලද ? අන්න ඒකට ගෝලීයව දුන්න උත්තරේ තමයි ඩීසල් පෙට්‍රල් මෝටර් රථවලට අදාළව විදුලි වාහන භාවිතය යෝජනා වෙන්නේ.
ඒ එක්කම ලෝකයේ හැම රටක්ම පෙට්‍රල් ඩීසල් ඇතුලු පොසිල ඉන්ධන ආශ්රිත නිෂ්පාදන අත්හැර විදුලි වාහන යුගයට පිවිසෙන්න සැලසුම් හදනවා. මේ වෙලාවේ හරි නම් වෙන්න ඕන, පරණ, පරිසරයට අහිතකර වාහන ලංකාවට එන එක වළක්වා ගන්න එක. ඒවා අධෛර්යමත් කරන එක. ඒ වෙනුවට, BYD වැනි ලෝකයේ දැවැන්තම විදුලි වාහන නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන ලංකාවට ආනයනය වෙන්න ඉඩ හදන එක. ඔවුන්ගේ නවීන තාක්ෂණය, දිගුකාලීන බැටරි ආයු කාලය සහ ආරක්ෂිත විශේෂාංග සහිත වාහන, අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්රය නව මානයකට ගෙන යන්න යොදාගන්න එක. නමුත් වෙමින් තියෙන්නේම ඒකේ අනිත් පැත්ත.
ලෝකයේ මොන හොඳ දේ වුණත්, අපේ කරුමේ තමයි අපේ රටේදී ඒක කෙළෙසෙනවා. කැත විදිහට අපහරණය වෙනවා. මේ වෙමින් තියෙන්නෙත් ඒකයි. විදුලි වාහන ගේන එක අපායේ යන්න වෙන වරදක් කියන්න යන තැනට වැඩේ ඇදගෙන යනවා. මේ යන කැම්පේන් එක අනුව නම් පේන්නේ, විදුලි වාහන නිෂ්පාදන සමාගමක් වුණත් ලංකාවෙන් ඕඩර් එකක් ආවොත්, “ආපෝ… එපා බෑ” කියන තැනට වැඩේ හදන්නයි යන්නේ.
අමතක කරන්න එපා, ලංකාව කියන්නේ ඉන්දියාව නෙවෙයි. ලොකු කයිවාරුකාරයන් හිටියට ලොකු මාර්කට් එකක් නෑ. අපිත් අර ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ, දූපතක් ඇතුළේ ලොකුවට හිතාගෙන ඉන්නවා. ඒත් ඇති දෙයක් නෑ.
එහෙම පසුබිමක, මේ විදුලි වාහන විරෝධය නම් නතර කරන්න ඕන. මේක තමයි ඊළඟ ට්‍රෙන්ඩ් එක. රටේ පොදු ප්‍රවාහනය සහ පෞද්ගලික වාහන පරිභෝජනය ඇතුළේ ඊළඟ පිම්මට සූදානම් වීම ආපස්සට අදින්න දෙන්න නරකයි. ඒකට ගෙවන්න වෙන වන්දිය සුළුපටු නෑ.
විදුලි වාහන ආනයනයට විරුද්ධ වෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකත්වය සහ පටු වාසිය ගැන හිතන අයයි.
මේ පටු අදහස් පස්සේ ගිහින් අපේ රටේ අනාගතය විනාශ කරගන්න කාලය දැන්වත් ඉවර කරන්න ඕන. විදුලි වාහන ආනයනයට විරුද්ධ වෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකත්වය සහ පටු වාසිය ගැන හිතන අයයි. ඔවුන්ගේ මතයට ඉඩ දෙන තාක් කල් අපේ රට එකතැනයි. ඒකෙන් වෙන්නේ, ලෝකයේ දියුණු වෙන රටවල් අතරේ අපි හුදෙකලා වීම විතරයි. අපි අදටත් ඒ අර්ථයෙන් හුදෙකලා වෙලා ඉන්නේ, අර කියන පස්සට අදින උදවිය නිසා. ඔවුන් බලවත් නිසා. ඔවුන් අයිඩියාලොජිය අත්පත් කරගෙන නිසා.
ඒ අර්ථයෙන් මේක එක සමාගමක ප්‍රශ්නයක්, බ්‍රෑන්ඩ් එකක ප්‍රශ්නයක්, ව්‍යාපාරික ප්‍රශ්නයක් , පරිසර , ආර්ථික , දේශපාලන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේ සේරම කැටි කරලා, එක මිටට ගත්තු මේක අපේ පරම්පරාවේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්.
එහෙනම් මෙතනදි වැදගත් දේ තමයි පැරණි දේ ගසාගෙන යන්නත්, අලුත් හුළඟට ඇතුළට එන්නත් කවුළුව විවරව තැබීම. එහෙමත් නැත්නම් BYD සමඟ වන මේ ඊනියා වෛරය අත්හැරීම. ඒ හරහා “තවත් නම් පස්සට යන්න බෑ ” යන්න තේරුම් ගෙන හැසිරීමයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි.
