රේගුව විසින් රඳවාගෙන ඇති වාහන හේතුවෙන් වෙළෙඳපොළේ වාහන සැපයුම අඩුවීමේ දැඩි අවදානමක් පවතින බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්රිගු මහතා ප්රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ එම තත්ත්වය වෙළෙඳපොළේ දැනට පවතින වාහනවල මිල ඉහළ යෑමට හේතුවිය හැකි බවයි.
ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුව සෘජුවම මෙරට පාරිභෝගිකයන්ට බලපාන බැවින්, ඊට කඩිනමින් ප්රායෝගික විසඳුමක් ලබා දෙන ලෙසයි.
ඇතැම් වාහන සඳහා ණයවර ලිපි ගෙවීම් පවා සම්පූර්ණ කර ඇති බවත්, රඳවාගෙන සිටින කාලය තුළ නැව් ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම අමතර පිරිවැය වාහනයේ අවසාන ආනයනික පිරිවැයට එකතු වන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම වාහනවල කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවත් රුද්රිගු මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
