2025 ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ලෙසින් ඊයේ (26) පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
එහිදී මෙවර ආසියානු කුසලානයේ දැවැන්තම පිළිතුරු ඉලක්කය වූ ලකුණු 203ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 202ක් රැස් කරගැනීමත් සමග දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම වීමෙන් සුපිරි පන්දුවාරයක් කරා තරගය යොමු කෙරුණා.
සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදුන් අතර කඩුළු 02ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 02ක් පමණයි.
එම ඉලක්කය හඹා ගිය ඉන්දියා කණ්ඩායම එක් පන්දුවකින් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 03ක් රැස් කරමින් සුපිරි පන්දුවාරය මගින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
මින් පෙර පිළිතුරු ඉනිම ලෙසින් ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක පන්දු 58කදී ලකුණු 107ක් රැස් කළ අතර, එය ඔහුගේ T20 දිවියේ පළමු ශතකය මෙන්ම, මෙවර ආසියානු කුසලානයේද පළමු ශතකය වනු ඇති.
මෙහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 58ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී දසුන් ශානක ලකුණු 22*ක්ද, ජනිත් ලියනගේ ලකුණු 02*ක්ද රැස් කළ අතර, කණ්ඩායම් දෙකේම ලකුණු තත්ත්වය සම වීම හේතුවෙන් අනතුරුව තරගය සුපිරි පන්දුවාරයක් සඳහා යොමු කෙරුණා.
ඊයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කිරීමට සමත් විය.
එය මෙවර ආසියානු කුසලානයේ දී කණ්ඩායමක් රැස්කළ ඉහළම ඉනිම විය.
කෙසේ නමුත් එම ඉලක්කය ආසන්නයටම ගිය ශ්‍රී ලංකාව ද පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කළේය.
