ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයකුට තරඟ පාවාදීම සඳහා බලපෑම් කිරීමේ චෝදනාවට ලක්ව සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබුවා.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද දින මෙම නඩුව කැඳවුණු අතර, නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා විත්තිකරුට මෙහිදී භාරදීම සිදු වුණා.
ඉන් අනතුරුව, රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරු පසුව ඇප මත මුදා හැරුණු බව සිහිපත් කළා.
මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත්, මෙම නඩුකරය හේතුවෙන් වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට සිදුවීමෙන් ඔහුගේ පෞද්ගලික හා ව්‍යාපාරික කටයුතු අඬාල වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පවසනවා.
එම නිසා, මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට විත්තිකරු සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විසින්, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව, මෙම නඩුව දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවීමට නියම වුණා.
