මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම තත්ත්වය පූර්ව උපකල්පනය කළ නොහැකි බැවින්, මතුවන නව අභියෝගයන්ට රටක් ලෙස සාූහිකව මුහුණ දිය යුතු බවයි.
අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
කෘෂිකර්ම, ධීවර හා කර්මාන්ත යන ප්‍රමුඛ පෙළේ අංශයන් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී පවතින ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇත. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පිරිමැසීම අරමුණු කරගනිමින්, හැකි සෑම අවස්ථාවකම නිවසේ සිට රාජකාරි කිරීමේ (Work from Home) හැකියාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
