Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදාදාට පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක්

8 months ago

රට තුළ පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා රජය ගෙන ඇති තීරණවලට අනුව හෙට (18) සිට සෑම බදාදා දිනකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සතියේ මැද දිනයක් වන බදාදා නිවාඩු ලබාදීමට තීරණය කළේ මහජන සේවාවන් සහ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බිඳවැටීම වැළැක්වීමට බවයි. “සිකුරාදා නිවාඩු දුන්නා නම් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුනක් එක දිගට රජයේ කාර්යාල වසා තැබීමට සිදුවනවා. එයින් ආර්ථිකයට විශාල පාඩුවක් විය හැකියි. බදාදා නිවාඩු දීමෙන් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා, සිකුරාදා ලෙස අඛණ්ඩව දින දෙක බැගින් කාර්යාල පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම තාවකාලික ක්‍රියාමාර්ග ගැනීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයට එල්ල වී ඇති බාධාවන් බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීම සඳහා රට සතු ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම රජයේ අරමුණයි.

රජයේ නිවාඩුවට සමගාමීව මගී අවශ්‍යතාව අඩු වන බැවින්, බස් රථ සහ දුම්රිය ධාවනය ද බදාදා දිනවල සීමා සහිතව සිදු කෙරෙනු ඇත. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් පවතින බව ද රජය සහතික කරයි.