Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන් ආරක්ෂා කරගමු! සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ නිවේදනයක්!

8 months ago

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දරුවන් විජලනය ඇතුළු විවිධ රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි. දරුවෙකු තුළ නිදිමත ගතිය, ආහාර අරුචිය හෝ ඇඟපත වේදනාව වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, එය විජලනයේ ලක්ෂණ විය හැකි බැවින් වහාම දියර වර්ග වැඩිපුර ලබා දිය යුතුය.

දැනට පැවැත්වෙන පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ ධාවන තරගවලට සහභාගී වන දරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරයා පවසයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම හේතුවෙන් තාප කම්පන (Heat Stroke) තත්ත්වයක් ඇති විය හැකි අතර, එය මරණය පවා සිදුවිය හැකි අතිශය අවදානම් සහගත තත්ත්වයක් බව ඔහු අනතුරු අඟවයි.

උණුසුම් කාලගුණයත් සමඟ දද සහ කුෂ්ඨ වැනි සමේ රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, දරුවන් දිනකට දෙවතාවක්වත් ස්නානය කරවීමට කටයුතු කරන ලෙස ද වෛද්‍යවරයා උපදෙස් දෙයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ,

“අව්වේ ඉන්නවා නම් පාසල්වල ක්‍රීඩා තරගවලට සහභාගී වෙනවා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්. ඒ හින්දා වැඩිපුර වතුර බොන්න ඕනේ. ස්වාභාවික දියර ආහාර වර්ග පාවිච්චි කරන්න ඕනේ.

නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත රිදෙන එක වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම වැඩිපුර වතුර සහ දියර ආහාර ලබා දෙන්න. දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද මේ දවස්වල වැඩිවෙන්න පුලුවන්.

ඒ නිසා දරුවන් දවසට දෙපාරක් විතර නාවන්න. විනාඩි 20ක් වගේ බය නැතිව වතුරේ තියන්න. ඒකෙන් සමේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුලුවන්. ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගී වෙන අය වැඩිපුර වතුර බිව්වේ නැත්තම් විජලන තත්ත්වය වගේම තාප කම්පන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුලුවන්.”