ලංකා පොහොර සමාගමේ සේවය කළ සමයේ රජයට රුපියල් ලක්ෂ 88කට අධික පාඩුවක් සිදුකළ බවට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු විය. අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව අමාත්‍යවරයා අද දින අධිකරණයේ පෙනී සිටි අතර, චෝදනා භාරදීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනාවට අනුව, 2016 දී ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
