වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැණුන ද එය වසංගතයක ආරම්භයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවය.
“කෙසේ නමුත් ළඟ ළඟ වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු වාර්තා වීම වසංගතයක ආරම්භයක් ලෙස සැලකීමට තරම් කාරණයක් නොවන බව මේ මොහොතේ අවධාරණය කරන්න ඕනේ. මේ රෝගය සත්තුන්ට බෝවන රෝගයක් මිස මිනිසුන්ට බෝවන රෝගයක් නොවන නිසා ඉතා කිට්ටු ආශ්‍රයකින් තොරව මේ රෝගය එක මනුෂ්‍යයකුගෙන් තව මනුෂ්‍යයෙක්ට බෝවීමට තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මෙවැනි ආසාදිතයින් හමුවු පමණින් හෝ වාහනයක හෝ නිවසේ සිටි පමණින් මේ රෝගය ආසාදනය වෙනවා කියලා හිතන්න අමාරුයි. රෝගියෙක් හමුවීම පමණක් පදනම් කරගෙන අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ රෝගය පිළිබඳ අවධානයෙන් සිටීමයි වැදගත් වෙන්නේ. මේ රෝගයේ ලක්ෂණ පැපොල රෝගයට සමානයි. ඒ නිසා එවැනි රෝග ලක්ෂණ ඇති අය වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම වැදගත් වෙනවා. අපි මේ වනවිට වෛද්‍යවරු දැනුවත් කර තිබෙනවා.”
