උදෑසන රැස්වීම පැවැති අවස්ථාවේදී කෑ ගසා ජාතික ගීය ගායනා කළ බව පවසමින් කෝප වී 09 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට පහර පිට පහර ගැසූ බව කියන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලීසිය පවසනවා.
පාසලේ ප්‍රධාන රැස්වීම පැවැති පෙරේදා (14) පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එම ගුරුවරයා රැස්වීමෙන් දරුවා පසෙකට ඇදගෙන ‘සද්දේ මදි. තවත් හයියෙන් කෑ ගහලා කියන ලෙසට කියමින්’ හිසට පහර පිට පහර ගසා ඇති බව පවසමින් දරුවාගේ මව හංවැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පාසල නිමවීමෙන් පසු නිවසට ගොස් ඇති දරුවා හිසේ කැක්කුම බව කියමින් මවට සිදුවීම පවසා ඇති අතර පසුව අවිස්සාවේල්ල මූලික රෝහලට දරුවා ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ස්ථානීය පරික්ෂණය සදහා ඊයේ (15) දින එම පාසලට නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.
හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ඉකුත් සැප්තැම්බර් මස පැවැති ප්‍රදර්ශනයකදී මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක රෝබෝ යන්ත්‍රයක් ද නිෂ්පාදනය කර ඇති මෙම සිසුවා ගණීත ඔලිම්පියාඩ් පදක්කම්ලාභී ශිෂ්‍යයෙක් වන බවද වාර්තා වෙයි.
