Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කර පුද්ගලයන් රවටන ජාවාරමක්! ලක්ෂ 60කට අධික මුදලක් වංචා කළ 3ක් කොටු වෙයි!

4 years ago

මුහුණුපොතේ සහ වෙබ් අඩවිවල පළ කර ඇති වෙළෙඳ දැන්වීම් ඔස්සේ එම දැන්වීම් පළ කර ඇති පුද්ගලයන් රැවටීමකට ලක් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (16) මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මහනුවර, තලාතුඔය සහ මැදවච්චියේ පදිංචිකරුවන්ය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් ලක්ෂ 60කට අධික මුදල් ප්‍රමාණයක් මෙලෙස විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලින් ලබාගෙන ඇති බවය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිලි 20කට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමයෙන් සැකකරුවන් විසින් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිකරණ පුද්ගලයින් අමතා දැන හැඳුනුම්කමක් ඇතිකරගැනීම සිදුකරයි.

පසුව සැකකරුවන් විසින් එම අලෙවිකරුවන් වෙත දැනුම්දෙනු ලබන්නේ විකිණීමට දැන්වීම් පළකර ඇති භාණ්ඩය විකිණීම සිදුනොකරන ලෙසටය.

” මේ අය කරන්නේ ෆේස් බුක්වල හරි වෙබ් අඩවිවල හරි පළ කරල තියෙන දැන්වීම් බලල ඒ දැන්වීම්වල සඳහන් දුරකතන අංකවලට ඇමතුම් දෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ එයාලගේ නමින් තියෙන සිම්පත් නෙමෙයි. වෙන අයගේ ඒවායින්. මෙයාල මුලින්ම කරන්නේ ඒ දැන්වීමේ තියෙන භාණ්ඩ වර්ගය කාටවත් විකුණන්න එපා, මම ගන්නවා කියල පිංසේණ්ඩු වෙන එකයි. සල්ලි ටිකක් මට මදි. ගනුදෙනුව ස්ථීර වෙන්න මම කීයක් හරි දාන්නම් මට සතියක් දෙන්න. යනුවෙන්ද එහිදී ඔවුන් පවසනවා. දැන්වීම්කරුට අනුකම්පාවක් ඇති වෙන විදිහටත් විශ්වාසයක් ගොඩ නැඟෙන ආකාරයටත් තමයි මේ අය කථා කරන්නේ. අන්තිමට දැන්වීම්කරු මේ අයට භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්ත පළ කළායින් පස්සේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලගෙන ඔන් ලයින් ට්‍රාන්සර් එකක් කරනවා පොඩි ගාණක්. ඒක දාල ඉවරවෙලා මේ අය නැවත දැන්වීම්කරුට කථා කරල කියනවා මම සල්ලි ටිකක් දැම්මා හම්බ වුණාද කියල බලන්න කියල. ඒකට පිළිතුරු ලැබෙන විට ඒත් එක්කම මේ අය කියනවා තරහා නැතිව පුළුවන් නම් කෝඩ් අංකයක් ඇවිල්ල ඇති ඒක පොඩ්ඩක් කිය කියල. මේ අංකය මොකක්ද කියල අවබෝධයක් නැති අය ඒක දෙනවා. දුන්නම වෙන්නේ මේ අය ඒ අංකය ඔස්සේ ඔවුන් මුදල් තැන්පත් කළ දැන්වීම්කරුගේ ගිණුමට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වෙලා මුදල් වෙන බැංකු ගිණුමකට බැර කර ගන්න එකයි.“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ වංචාව වන ආකාරය පැහැදිලි කළේය.

ඒ සඳහා ජාවාරම්කරුවන් විසින් වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් භාවිත කර විවෘත කළ බැංකු ගිණුම් භාවිත කර ඇත.

ජාවාරම්කරුවන් විසින් එක් අවස්ථාවකදී මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ජෙනරේටරයක් අලෙවි කිරීමට අන්තර් ජාලයේ පළකර තිබූ වෙළෙඳ දැන්වීමක් අනුව ඔහු අමතා පෙර සඳහන් කළ ආකාරයට අදාළ පුද්ගලයාගේ ගිණුමේ තිබී රුපියල් ලක්ෂ 18ක මුදලක් බැංකු ගිණුමකට බැරකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් භාවිත කළ ජංගම දුරකථන 8ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම දුරකථනවලට මුදල් හුවමාරු කිරීම සඳහා භාවිත කරනු ලබන විශේෂිත ජංගම දුරකථන යෙදවුම් අන්තර්ග්‍රහණය කර ඇතිබවද අනාවරණය වී තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් මේ අයුරින් පුද්ගලයින් 80කට ආසන්න පිරිසකගේ ගිණුම්වලින් මුදල් ලබාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් පිරිස දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් වන අතර ඔවුන් පරිගණක පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයින් බවද පොලීසිය පවසයි.