Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව

4 months ago

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පොලිස් නිලධාරියෙකුට සහ ආරක්ෂක නිලධාරිනියකට අතින් පයින් පහරදී මෝටර් රථයකින් පලාගොස් සිටි සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (28) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල, කහටගහමාන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු පැමිණ පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිය පියා බැලීම සඳහා සැකකරු ඉකුත් (27) වනදා සවස රෝහල් පරිශ්‍රයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඔහු බීමත්ව අශෝභන ලෙස හැසිරී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී රෝහල් පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන් (51847) නිලධාරියා විසින් ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී කෝපයට පත් සැකකරු විසින් අදාළ පොලිස් සැරයන්වරයාට සහ ආරක්ෂක නිලධාරිනියකට අතින් පයින් පහරදී මෝටර් රථයක නැගී පලාගොස් තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා සහ ආරක්ෂක නිලධාරිනිය රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.